ප්‍රධාන පුවත්

PHP ආරක්ෂක දුර්වලතා ගැන CERT වෙතින් හදිසි නිවේදනයක්

PHP ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා CERT ආයතනය රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් සහ වෙබ් අඩවි නිර්මාණකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය සඳහා බහුලව භාවිත වන PHP මෘදුකාංගයේ හඳුනාගෙන ඇති ආරක්ෂක දෝෂ හේතුවෙන් පරිගණක පද්ධති අවදානමට ලක්විය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.

CVE-2026-109618 සහ CVE-2026-109619 යන හඳුනාගැනීමේ කේත යටතේ සඳහන් මෙම දුර්වලතා හරහා පද්ධති වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම, දත්ත සොරා ගැනීම සහ පද්ධතිවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අවදානම් අවම කිරීම සඳහා පියවර කිහිපයක් කඩිනමින් ගන්නා ලෙස ශ්‍රී ලංකා CERT ආයතනය අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, PHP භාවිත කරන සියලුම පද්ධති සහ වෙබ් යෙදුම් හඳුනාගෙන ඒවායේ දැනට ක්‍රියාත්මක වන මෘදුකාංග අනුවාද පරීක්ෂා කළ යුතුය. අනතුරුව අදාළ ආරක්ෂක දෝෂ නිවැරදි කිරීම සඳහා නිකුත් කර ඇති යාවත්කාලීන කිරීම් සහ මෘදුකාංග පැච් නිසි ක්‍රමවේදයට අනුව යෙදිය යුතු බව ද දැනුම් දී ඇත.

ඒ සඳහා PHP නිල වෙබ් අඩවියේ පළ කර ඇති යාවත්කාලීන කිරීමේ උපදෙස් අනුගමනය කරන ලෙස ද ඉල්ලා තිබේ.

එමෙන්ම, පද්ධතිවල ලොග් වාර්තා පරීක්ෂා කර අසාමාන්‍ය ක්‍රියාකාරකම් තිබේදැයි නිරීක්ෂණය කිරීමත්, කඩිනමින් යාවත්කාලීන කළ නොහැකි දැඩි අවදානමක් සහිත පද්ධතිවලට ඇති අන්තර්ජාල ප්‍රවේශය සීමා කිරීමත් වැදගත් බව ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරයි.

සයිබර් ආරක්ෂාව තහවුරු කරගැනීම සහ ඇතිවිය හැකි හානි අවම කරගැනීම සඳහා මෙම පියවර කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස එම ආයතනය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button