ප්‍රධාන පුවත්

කස්සප හිමි ගැන ජාතික රෝහලෙන් විශේෂ ප්‍රකාශයක්

කස්සප හිමි ගැන ජාතික රෝහලෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත, ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මූලික වෛද්‍ය පරීක්ෂණවලින් පසු වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවන බව පවසමින් කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ කස්සප හිමියන් රෝහල්ගත කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ, හිමියන් හදිසි අනතුරු ඒකකයට පැමිණීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කළ බවයි.

එහිදී සිදුකළ විකිරණ පරීක්ෂණ, අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණවලින් සැලකිය යුතු අසාමාන්‍ය තත්ත්වයක් හඳුනාගෙන නොමැති බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, හිසට පහරක් වැදුණු බවට හිමියන් පැවසීම හේතුවෙන් වැඩිදුර පරීක්ෂාවක් සහ නිරීක්ෂණයක් සඳහා රෝහලේ රැඳී සිටින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී තිබේ. නමුත් එම ප්‍රතිකාර තවදුරටත් අවශ්‍ය නොවන බව පවසමින් උන්වහන්සේ රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“අද දින පස්වරු 8.30ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසු ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලින් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්‍යවරු විසින් පරීක්ෂා කර බලා අදාළ විකිරණ පරීක්ෂණයන් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකරලා බලලා තියෙනවා ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නෑ. ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බවට පැවසීම නිසා වෛද්‍යවරු යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වෙලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේට දැනුම්දීලා තිබුණා. නමුත් උන්වහන්සේ එම ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන බව පවසා පැයකට පමණ පසු රාත්‍රි 9.30ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලින් බැහැරව ගිය බවට වාර්තා වෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button