
පාගමනින් ආ සඟරුවන්ගේ ඉල්ලීම කළ නොහැක – ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
පාගමනින් ආ සඟරුවන්ගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් පැවැත්වූ පාගමන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ තමන්ට ලැබුණු ජනවරමට අනුව බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එම ජනවරම තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ අපේක්ෂාව අන්තර්ගත වන බැවින්, අදාළ ඉල්ලීමට එකඟ වීමෙන් ජනවරමට පටහැනිව කටයුතු කළ බවට සැලකීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම ඉටු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනවරමට පිටුපාමින් තීරණ ගැනීමට ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නොහැකි බවයි.
එහිදී කේ.ඩී. ලාල් කාන්ත මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
“කොහොම වුණත්, අපේ හාමදුරුවන් වහන්සේලාටත්, පොදු ජනතාවටත්, සෑම සියලු දෙනාටමත් දැනගැනීම සඳහා ස්ථිරව යමක් කිව යුතුව තිබෙනවා. ඒ තමයි බලන්න ජනවරම දිහා. අපිට ලැබිච්ච ජනවරම දිහා බලන්න.
ඒ ජනවරම මත පදනම් වෙලා තමයි, ජනාධිපතිතුමා ගන්න තීරණ ගන්නේ. ඒ වගේම ආණ්ඩුව තීරණය ගන්නේ ජනවරමත් එක්ක. මේ ජනවරමේ තියෙන්නේ, නීතියේ ආධිපත්‍ය ඉල්ලලා තියෙන ජනවරමක් තියෙන්නේ. ඒ දිසාවට රට හරවලා තියෙන්නේ. ඒක කවුරුත් දන්නවා.
ඉතිං අපේ පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඇත්තටම. ඒක ඉෂ්ට කරන්න බෑ. ඒක ඉෂ්ට කළොත් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා වෙනවා. ඒ නිසා ජනවරමට පිටුපාන්න කිසිසේත්ම බෑ. මේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීමක් නෙවෙයි. ඒක අපේ හාමදුරුවන් වහන්සේලාට තේරුම් ගන්න පුළුවන් දෙයක්.”



