
මහනුවර මෙට්‍රො බස් සේවාවට මුල් පියවර තැබේ
මහනුවර මෙට්‍රො බස් සේවාව ව්‍යාප්ත කිරීමේ සැලසුම යටතේ මහනුවර සිට ගම්පොල දක්වා යෝජිත බස් මාර්ගය හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ධාවනයක් අද (15) සිදු කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කෙරිණි.
දැනට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙට්‍රො බස් රථ සේවාව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙත ව්‍යාප්ත කිරීමේ වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ඒ අනුව, මහනුවර නගරයෙන් ආරම්භ කළ පරීක්ෂණ ධාවනය සේනානායක වීදිය, දළදා වීදිය, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මුල්ගම්පල, ගැටඹේ හන්දිය, ගලහ හන්දිය, පේරාදෙණිය, අඟුනාවල, ගෙලිඔය, වැලිගල්ල සහ කහටපිටිය හරහා ගම්පොල නගරය දක්වා සිදු කර ඇත. එම ධාවනය අවසන් කර ඇත්තේ ගම්පොල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ පරිශ්‍රයෙනි.
කිලෝමීටර් 19ක දුරකින් යුත් මෙම යෝජිත මාර්ගය මෙට්‍රො බස් රථ ධාවනයට ගැළපෙන අයුරින් සංවර්ධනය කිරීමටත්, අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත් සැලසුම් කර තිබේ.
මෙම පරීක්ෂණ ධාවනයට පෙර යෝජිත මහනුවර මෙට්‍රො බස් සේවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට පොලිස් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයෝ ද එක්ව සිටියහ.
ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම මේ වන විට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් බස් රථ 122ක් යොදා මාර්ග හතක මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යයි.
ඉදිරි වසරවලදී මහනුවරට අමතරව යාපනය සහ ගාල්ල යන නගර කේන්ද්‍ර කරගනිමින් ද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට සමාගම සැලසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ නාගරික පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමත්, මහනුවර සහ අවට ප්‍රදේශවල ජනතාවට පහසු ප්‍රවාහන පහසුකම් සැලසීමත්ය.



