ප්‍රධාන පුවත්

සිරගත භික්ෂුවට චීවරය දැරීමට අවසර

බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට චීවරය දැරීමට අවසර ලබාදීම සඳහා බන්ධනාගාර නීති සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සිරගත භික්ෂුවට චීවරය දැරීමට අවසර හිමිවන අතර, අදාළ භික්ෂුව අයත් නිකායෙන් එසේ නොකරන ලෙස දැනුම්දෙන තෙක් එම අවසරය ක්‍රියාත්මක වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

 

බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කර ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

බන්ධනාගාර නීති යාවත්කාලීන කිරීමේ කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ අනුව නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 (අ) ලෙස නව කොටසක් එක් කිරීමටත්, දෙපාර්තමේන්තු නියෝග 550 සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් හඳුන්වාදීමටත් යෝජනා කර තිබේ.

 

අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා දැනට බලාත්මක නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා,

 

“බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 ‘අ’ ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා.

 

ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට.

 

වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙකු සිරකරුවෙකු වුණොත්, මේ ප්‍රතිපාධන අදාළ ලෙස වෙනස්කරගමින් එයට අදාළ කරගත යුතු වෙනවා.

 

එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතින් කොටසක් එකතුවෙලා සංශෝධනයක් එනවා.

 

ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා. එම අවසරය දිගටම පවතිනවා ස්වාමින් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු.

 

මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවත්, ලිපියත් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා තිබෙනවා.

 

ඒ අනුව දැනට බලාත්මක නිත්‍ය නියෝග සංශෝධනය කර, නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා” යැයි අවසන් වශයෙන් පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button