ප්‍රධාන පුවත්

2030ට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ඉලක්ක අගමැතිනිය හෙළිකරයි

 

 

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ඉලක්ක පිළිබඳව අදහස් දක්වමින්, 2030 වන විට මෙරට ඩිජිටල් ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

 

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13) පැවැති 26 වැනි ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ (SLEIS) 2026 සැසිවාරයට එක්වෙමිනි. ශ්‍රී ලංකාව තාක්ෂණය භාවිත කරන රටක් පමණක් නොව, නවෝත්පාදන බිහිකරන රටක් බවට පත් කිරීම සඳහා රජය කැපවී කටයුතු කරන බවද ඇය එහිදී ප්‍රකාශ කළාය.

 

මෙම වසරේ පළමු මාස හය තුළ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. “ඩිජිටල් යුගයක ජාතිය ගොඩනැගීම” යන තේමාව යටතේ පැවැති සමුළුවේදී ආර්ථික සංවර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණය උපායමාර්ගිකව යොදාගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

 

2030 වන විට ඩිජිටල් ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමට අමතරව, ඩිජිටල් අපනයන ආදායම ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කිරීම සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 200,000කින් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීමද රජයේ ඉලක්ක අතරට ඇතුළත් වේ.

 

රාජ්‍ය ආයතන නවීකරණය කර මහජන සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ඒ සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ මූලික ඩිජිටල් පරිවර්තන වැඩසටහන් වෙනුවෙන් රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවද ඇය සඳහන් කළාය.

 

රාජ්‍ය ආයතන 300කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව හරහා රුපියල් බිලියන 6කට වැඩි ගෙවීම් සිදුකර තිබීම, රාජ්‍ය ගනුදෙනු සරල කිරීමට සහ විනිවිදභාවය ඉහළ නැංවීමට උපකාරී වී ඇති බවද මෙහිදී පෙන්වා දෙනු ලැබිණි.

 

සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහාද ඩිජිටල් තාක්ෂණය පුළුල් ලෙස යොදාගත හැකි බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ඩිජිටල් සෞඛ්‍ය පද්ධති හා දුරස්ථ වෛද්‍ය සේවා මඟින් සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තයෙන් ඵලදායිතාව ඉහළ නැංවීම සහ ජල කළමනාකරණය ශක්තිමත් කිරීම ඒ අතර වේ.

 

එමෙන්ම ස්මාර්ට් විදුලි ජාල මඟින් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමත්, ඩිජිටල් ප්‍රවේශපත්‍ර සහ රථවාහන කළමනාකරණ පද්ධති ඔස්සේ මගීන් මුහුණදෙන ගමනාගමන දුෂ්කරතා අවම කිරීමත් පිළිබඳව ඇය කරුණු පැහැදිලි කළාය.

 

මෙම ඩිජිටල් පරිවර්තනය ක්‍රියාත්මක කිරීමේදී සමාජයේ පවතින අසමානතා තවදුරටත් වර්ධනය නොවන අයුරින්, පුරවැසියා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button