
ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කළ බවට ගම්මන්පිලගෙන් චෝදනාවක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.
අද (12) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එම සිදුවීම සිදුවන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරියෙකු ජංගම දුරකථනයක කැමරාව ක්‍රියාත්මක කර වෙනත් ස්ථානයක සිටින පුද්ගලයෙකුට එය නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දී තිබූ බව ඥානසාර හිමියන් තමන්ට පැවසූ බවයි.
ඥානසාර හිමියන්ගේ ඉල්ලීමක් අනුව පසුගිය ඔක්තෝබර් 08 වැනිදා තමන් වැලිකඩ බන්ධනාගාරයට ගිය බවත්, එහිදී උන්වහන්සේ චීවරය ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට උත්සාහ කළ ආකාරය පිළිබඳව පැහැදිලි කළ බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ 2018 වසරේදී ද මෙවැනිම සිදුවීමක් ඇති වූ බවයි. එහිදී ඥානසාර හිමියන් විරෝධය පළ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් එම උත්සාහය අත්හැර දමා තිබුණද, මෙවර නිලධාරීන් පිරිසක් එක්ව ජම්පරය ඇන්දවීමට උත්සාහ කළ බවට උන්වහන්සේ පැවසූ බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.
තවද, අදාළ අවස්ථාවේදී එක් නිලධාරියෙකු ජංගම දුරකථනයක කැමරාව ක්‍රියාත්මක කරමින් එම සිදුවීම වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දී තිබූ බවට ද ඔහු කරුණු අනාවරණය කළේය.
ඒ අනුව, ඥානසාර හිමියන්ට ජම්පරය ඇන්දවීම සිදුව ඇත්තේ උන්වහන්සේගේත්, අදාළ බන්ධනාගාර නිලධාරීන්ගේත් අකමැත්ත මධ්‍යයේ ජාතික ජන බලවේගයේ ඉහළ නායකයන්ගේ බලපෑම මත බවට ගම්මන්පිල මහතා චෝදනා කළේය.
එම සිදුවීමෙන් පසු ඥානසාර හිමියන් දැඩි මානසික කම්පනයකට පත්වූ බව ද ඔහු ප්‍රකාශ කළේය. චීවරයේ අවසන් සලකුණ ලෙස සැලකූ අඳනකඩය ඉවත් කර අතට ගත් අවස්ථාවේදී උන්වහන්සේ දැඩි කම්පනයකට පත්වූ බවත්, එය භාරගැනීමට නිලධාරීන් අත් දිගු කළ විට උන්වහන්සේ එය ඉහළට විසි කර ඇති බවත් ගම්මන්පිල මහතා පැවසීය. එම අඳනකඩය එහි තිබූ විදුලි පංකාවේ රැඳී තිබූ බව ද ඔහු සඳහන් කළේය.
මෙම සියලු කරුණු පදනම් කරගනිමින් ඥානසාර හිමියන්ට ජම්පරය ඇන්දවීම සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ බලපෑමක් සිදුවූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.



