
බදුල්ලේ දෙවන තැඹිලි ගම්මානය දෙහිගමදී ඇරඹේ
දිවයින පුරා වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන යටතේ බදුල්ලේ දෙවන තැඹිලි ගම්මානය රිදීමාලියද්ද, දෙහිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (10) ස්ථාපිත කර තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ කෙරිණි. එහි ඉදිරි පියවරක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මානය මෙලෙස ස්ථාපිත කිරීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවේදී තැඹිලි වගාකරුවන්ට සංකේතාත්මකව තැඹිලි පැළ 500ක් බෙදා දී තිබේ. එමෙන්ම දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ප්‍රජා ශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ගෙවතු පොල් පැළ බෙදාදීමේ වැඩසටහන යටතේ පවුල් 250ක් සඳහා පොල් පැළ 500ක් ද ලබා දී ඇත.
මීට අමතරව පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් වෙත චෙක්පත් ප්රදානය කිරීමද සිදුකර තිබේ.
මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වසර වන විට මෙරට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීමයි. එමෙන්ම තැඹිලි සහ ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ලැබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි අගයකින් වර්ධනය කිරීමද අපේක්ෂා කෙරේ.
ඒ සඳහා 2026 සිට 2028 දක්වා කාලය තුළ නව තැඹිලි වගා ව්‍යාප්තිය වෙනුවෙන් තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත. දැනට පවතින තැඹිලි වගාවන්හි ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමද එම සැලසුමට ඇතුළත් වේ.
නව වගාබිම් පුළුල් කිරීම සහ දැනට පවතින තැඹිලි ගස්වල ඵලදායිතාව ඉහළ නැංවීම මඟින් තැඹිලි නිෂ්පාදනයේ ප්‍රමාණය මෙන්ම ගුණාත්මකභාවයද වැඩිදියුණු කිරීමට නියමිතය.
තවද තැඹිලි වගාවේ ඵලදායිතාව සහ අස්වැන්නේ ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා වගා භූමි අක්කර 500ක් ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධති ඉදිකිරීමටද සැලසුම් කර තිබේ. විධිමත් ජල කළමනාකරණයක් තුළින් වියළි කාලවලදී වගාවන් ආරක්ෂා කර ස්ථාවර හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම එහි අරමුණයි.
එසේම තැඹිලි වගාව ආරම්භ කිරීමේ සිට අස්වැන්න නෙළීම, ප්‍රවාහනය, සැකසීම සහ අපනයනය දක්වා සමස්ත වටිනාකම් දාමය විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමටද නියමිතය.
ඒ සඳහා වගාකරුවන්, තැඹිලි එකතු කරන්නන් සහ අපනයනකරුවන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති අතර, එමඟින් මෙරට තැඹිලි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව සහ අපනයන හැකියාව තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.



