යුද්ධ සහ ගැටුම්

රියාද් ගුවන්තොටුපොළට යළි ප්‍රහාරයක් – අයෙක් මරුට, 11කට තුවාල

රියාද් ගුවන්තොටුපොළට යළි ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් අද (12) මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

සෞදි බලධාරීන් සඳහන් කර ඇත්තේ ගුවන්තොටුපොළේ සිව්වන පර්යන්තය ඉලක්ක කර ප්‍රහාරය එල්ල වූ බවයි. එම ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ ගින්නක් ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඊයේ (11) දිනයේදී ද මෙම ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මේ අතර, රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ කෲස් මිසයිලයක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කළ බව යේමනයේ ක්‍රියාත්මක සෞදි ප්‍රමුඛ සන්ධාන හමුදා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම, සෞදි අරාබියේ නැගෙනහිර පළාතට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් විනාශ කර ඇති අතර, කමිස් මුෂයිට් නගරය දෙසට එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ද සිය ආරක්ෂක පද්ධති මඟින් වළක්වා ඇති බව එම හමුදා සඳහන් කරයි.

අද (12) අලුයම දකුණු සෞදි අරාබියේ අබා නගරය ආශ්‍රිතව හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද, පසුව එම අවදානම පහව ගොස් ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

හූති සටන්කාමීන්ට එරෙහිව සෞදි අරාබිය ගුවන් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කරමින් සිටින පසුබිමක මෙම ප්‍රහාර සිදුව ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button