ප්‍රධාන පුවත්

සිරගත වන භික්ෂූන් වහන්සේලාට නව රෙගුලාසි සති දෙකකින්

සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නව රෙගුලාසි සති දෙකක් ඇතුළත සම්මත කිරීමට රජය පියවර ගනිමින් සිටියි. ඒ අනුව, අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂූන් වහන්සේ චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමට හැකි වන පරිදි නව නීතිමය විධිවිධාන හඳුන්වා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම පදනම් කරගනිමින්, සිරගත වන භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමේදී දැනට අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පිළිබඳ සාකච්ඡාවක් මතු විය. ඒ සම්බන්ධයෙන් මහනායක මාහිමිපාණන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, දැනට බන්ධනාගාර පද්ධතිය පාලනය කරන 1877 බන්ධනාගාර ආඥා පනත සහ එහි රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් විශේෂිත විධිවිධාන ඇතුළත් නොවන බවයි. එබැවින් පවතින නීතිය ඉක්මවා පුද්ගලයන්ට විශේෂ නියෝග නිකුත් කිරීම වෙනුවට, වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නීතිය සංශෝධනය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

සාකච්ඡාවේදී මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් පෙන්වා දී ඇත්තේ භික්ෂූන් වහන්සේ නමක් මෙවැනි තත්ත්වයකට මුහුණ දීම සමස්ත මහා සංඝරත්නයට මෙන්ම සමාජයට ද සංවේදී කරුණක් බවයි. ඒ අනුව, අධිකරණයකින් වරදකරු කර වසර තුනකට වැඩි කාලයක් සිරගත කරන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන්, උන්වහන්සේ අයත් නිකායට හෝ පාර්ශ්වයට දැනුම් දී එහි අදහස් හා නිර්දේශ මත අවශ්‍ය කටයුතු සිදු කළ හැකි වන පරිදි රෙගුලාසි සකස් කිරීම ඔවුන්ගේ යෝජනාව වී තිබේ.

මෙම ක්‍රමවේදය තුළින් යෝජිත සහනය අවභාවිත කිරීම වැළැක්වීමට ද හැකි වන බව මහා සංඝරත්නය පෙන්වා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අදාළ කරුණු කඩිනමින් අධ්‍යයනය කර නීති සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අරමුණින් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පසුගිය 08 වැනිදා පත් කර තිබේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

මෙම කමිටුවේ පළමු රැස්වීම පසුගිය 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර, අදාළ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ලබා දී ඇත.

කමිටුව සති දෙකක් ඇතුළත අධ්‍යයනය අවසන් කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. එම යෝජනා සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අදහස් ලබා ගැනීම සඳහා ඒවා එළඹෙන සතියේ මැද වන විට ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබේ.

ඒ අනුව, සිරගත වන භික්ෂූන්ට නව රෙගුලාසි හඳුන්වා දීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කර ඉදිරි සති දෙක තුළ ඒවා සම්මත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button