
අපේක්ෂා රෝහලේ සේවා ශක්තිමත් කිරීමට නව සැලසුම්
අපේක්ෂා රෝහලේ සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සහ රෝගීන්ට අඛණ්ඩ ප්‍රතිකාර ලබාදීම අරමුණු කරගනිමින් විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමක් මහරගම අපේක්ෂා රෝහලේදී පවත්වා තිබේ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැති මෙම රැස්වීමේදී රෝහලේ වත්මන් මෙහෙයුම් කටයුතු, රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
රජයේ රෝහල්වල පරිපාලන කටයුතු විධිමත් කිරීම, සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රෝගී සත්කාරක සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් රෝහල් මට්ටමින් මෙවැනි කළමනාකරණ සමාලෝචන රැස්වීම් පැවැත්වේ.
මෙම රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ රෝහලට පැමිණෙන රෝගීන්ට සැලසුම් සහගත ක්‍රමවේදයක් යටතේ අඛණ්ඩව ප්‍රතිකාර ලබාදීම තහවුරු කිරීම කෙරෙහිය.
රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඉදිරි වසර සඳහා ගැළපෙන නව ප්‍රධාන සැලසුමක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. ඒ අනුව, රෝහල් පරිශ්‍රයේ පවතින ඉඩකඩ උපරිම ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) සහාය ඇතිව නව ප්‍රධාන සැලසුම සකස් කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම ඉදිවෙමින් පවතින නව ළමා වාට්ටු සංකීර්ණය ඇතුළු සායනික ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.
විකිරණ ප්‍රතිකාර අංශයේ සේවා පුළුල් කරමින් රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා CT සිමියුලේටර් පහසුකම් සම්පූර්ණ කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත. තවද, ආසියානු සංවර්ධන බැංකු (ADB) ව්‍යාපෘතිය යටතේ ලැබීමට නියමිත නව LINAC යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය බංකර් ඉදිකිරීම් කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
රෝහලේ සායන සහ වාට්ටු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ අඛණ්ඩව සැපයීම සහතික කිරීම ද මෙම සාකච්ඡාවේ තවත් ප්‍රධාන කරුණක් වී ඇත. ඒ සඳහා වෛද්‍ය සැපයුම් අංශය (MSD) සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, අවශ්‍ය අවස්ථාවල හදිසි මිලදී ගැනීම් සිදු කිරීම සහ ඖෂධ සැපයුම සම්බන්ධ ගැටලු විසඳීම පිළිබඳව උපදෙස් ලබා දී තිබේ.
රෝහලේ සේවා කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, විකිරණ ශිල්පීන්, ඖෂධවේදීන් සහ සෞඛ්‍ය කාර්ය සහායකයන්ගේ පුරප්පාඩු පිරවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සැලසුම් සහගත වැඩපිළිවෙළ යටතේ අවශ්‍ය කාර්ය මණ්ඩලය ක්‍රමානුකූලව ලබාදීමට පියවර ගන්නා බව ද සඳහන් කර තිබේ. මේ සති අන්තයේදී සෞඛ්‍ය කාර්ය සහායකයන් සඳහා නව පත්වීම් ප්රදානය කිරීමට නියමිත බැවින්, එම පිරිසෙන් කොටසක් අපේක්ෂා රෝහලට අනුයුක්ත කිරීමට ද කටයුතු කරන බව මෙහිදී පෙන්වා දී ඇත.
මීට අමතරව රෝහලේ වායු සමීකරණ පද්ධති, වෛද්‍ය උපකරණ, ඩිජිටල්කරණ වැඩපිළිවෙළ, අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කිරීම සහ කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු පිළිබඳව ද සමාලෝචනය කර තිබේ.
රෝගීන්ට වඩාත් ගුණාත්මක, විධිමත් සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අපේක්ෂා රෝහලේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.



