ප්‍රධාන පුවත්

විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන CERT අනතුරු අඟවයි

විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විදේශීය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ දැන්වීම්වලට රැවටීමෙන් දෙමාපියන් සහ සිසුන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බව එම සංසදය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා CERT ආයතනය පෙන්වා දෙන්නේ, විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර දෙන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ විවිධ දැන්වීම් පළවන බවයි. එමඟින් විදේශ රටවල වීසා ලබාගැනීමටත්, වසර කිහිපයක රැකියා බලපත්‍ර ලබාගෙන පසුව පුරවැසිභාවය ලබාගැනීමටත් අවස්ථාව සලසා දෙන බවට ඇතැම් දැන්වීම්වල පොරොන්දු ලබාදෙන බවද එහි සඳහන් වේ.

මෙම දැන්වීම් අතර සම්පූර්ණයෙන්ම වංචනික ඒවාද පවතින බව ශ්‍රී ලංකා CERT ආයතනය අනාවරණය කරයි. ඒවායේ සඳහන් දුරකථන අංකවලට ඇමතීමේදී විදේශීය විශ්වවිද්‍යාලවල නියෝජිතයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ආකර්ෂණීය තොරතුරු ඉදිරිපත් කරන බවද එම ආයතනය පවසයි.

වංචාකරුවන්ගේ ප්‍රධාන උපක්‍රමයක් වන්නේ ලියාපදිංචි ගාස්තුව සහ පළමු අධ්‍යයන වාරයේ ගාස්තුව පමණක් ගෙවා විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය හැකි බවට පොරොන්දු ලබාදීමයි. ඉන්පසුව විදේශ රටේදී රැකියාවක් සොයාගෙන නවාතැන් සහ ආහාර සඳහා අවශ්‍ය මුදල් උපයාගත හැකි බවත්, ඉදිරි අධ්‍යයන වාර සඳහා ශිෂ්‍යත්ව ලබාගැනීමටද හැකි බවත් ඔවුන් පවසන බව වාර්තා වේ.

එමෙන්ම, වංචාකරුවන් ඊමේල් ගිණුම් හෝ WhatsApp සමූහ නිර්මාණය කර ඒවා හරහා අදාළ විශ්වවිද්‍යාලවල වීඩියෝ, ඡායාරූප සහ තොරතුරු ලබාදෙන බවද අනාවරණය වී තිබේ. අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සැබෑ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ සේවාවක් ලෙස පෙනී සිටීමට ඔවුන් කටයුතු කරන බවට සැක පළ කර ඇත.

තවද, සිසුන් ලියාපදිංචි කිරීම සඳහා ලබාදෙන ලේඛනද අදාළ විශ්වවිද්‍යාලවලින් නිකුත් කරන නිල ලේඛනවලට සමාන ආකාරයෙන් සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා CERT ආයතනය පෙන්වා දෙයි. මුදල් තැන්පත් කිරීම සඳහා විදේශීය බැංකු ගිණුම් අංක ලබාදීම හරහාද වංචාවක් සිදුවන බව හඳුනාගැනීමට ඇති අවස්ථා අවම කිරීමට ඔවුන් උත්සාහ කරන බව සඳහන් වේ.

මෙලෙස ලබාදෙන තොරතුරු සහ ලේඛන විශ්වාස කර ලියාපදිංචි ගාස්තු සහ පළමු අධ්‍යයන වාරයේ ගාස්තු ලෙස රුපියල් ලක්ෂ ගණනක් ගෙවීමෙන් පසු අදාළ පුද්ගලයන් අතුරුදහන් වන බවට පැමිණිලි ලැබී තිබේ.

මෙවැනි වංචාවලට හසු නොවීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පළවන විදේශීය විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ දැන්වීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි. විදේශීය විශ්වවිද්‍යාල සඳහා සිසුන් යොමු කිරීමේදී නීත්‍යනුකූලව සේවා සපයන නියෝජිතයන් පමණක් තෝරාගැනීමේ වැදගත්කමද එම ආයතනය අවධාරණය කරයි.

එමෙන්ම, අදාළ පුද්ගලයන් විසින් ලබාදෙන ලේඛනවල සත්‍යතාව සහ මුදල් තැන්පත් කිරීමට ලබාදෙන බැංකු ගිණුම් පිළිබඳවද නිසි පරීක්ෂාවක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා CERT ආයතනය වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button