අධ්‍යාපන

2027 සිට පෙර පාසල්වලට SLS ප්‍රමිති

පෙර පාසල්වලට SLS ප්‍රමිති හඳුන්වාදීම ඇතුළු වැඩසටහන් රැසක් සමඟ 2027 වසර මුල් ළමාවිය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වසරක් බවට පත්වනු ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය පවසයි.

2027 වසර සඳහා හඳුනාගෙන ඇති නව ඉලක්ක සමාලෝචනය කිරීම වෙනුවෙන් අද (08) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී අමාත්‍යාංශයට අනුබද්ධ සියලු ආයතන මගින් 2026 වසරේ මේ දක්වා ලබාගෙන ඇති ප්‍රගතිය මෙන්ම 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

ඒ අනුව 2027 වසරේ මුල් භාගය තුළ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව මෙම කටයුතු ක්‍රියාත්මක කරයි.

එම වැඩපිළිවෙළට සමගාමීව පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රමිති හඳුන්වාදීමටද කටයුතු කරමින් සිටී. ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර, Clean Sri Lanka සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව මෙම වසරේ ආරම්භ කළ පෙර පාසල් දරුවන්ගේ චර්යාත්මක සංවර්ධනය සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ ‘Step-Up’ ව්‍යාපෘතියේ මීළඟ අදියරද 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2025 වසරේදී මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව හඳුන්වාදීමත් සමඟ මුල් ළමාවිය ක්ෂේත්‍රය විධිමත් අධ්‍යාපන අවධියක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

එම වැඩපිළිවෙළ ලබන වසරේදී කූටප්‍රාප්තියට ළඟාවනු ඇති බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button