
ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනඟනවා – ජනපති
ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එම අරමුණ ඉටුකර ගැනීම සඳහා පසුගිය දෙවසර තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගෙමින් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග පද්ධතිය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) හා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
බලශක්ති ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අඩු කිරීම සහ ඉදිරියේදී ඇතිවන ගුවන් ඉන්ධන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ධාරිතාව සකස් කිරීම එහි ප්‍රධාන අරමුණු වේ.
මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින් ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා විශේෂ නළ මාර්ගයක් සහ ඊට සම්බන්ධ ටැංකි සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.
ඒ යටතේ සමස්ත ධාරිතාව ඝන මීටර් 92,000ක් වන නව ජෙට් A-1 ඉන්ධන ටැංකි පහක ඉදිකිරීම් ආරම්භ කෙරේ. එයට ඝන මීටර් 30,000 බැගින් වූ විශාල ටැංකි දෙකක්, ඝන මීටර් 15,000 බැගින් වූ මධ්‍යම ප්‍රමාණයේ ටැංකි දෙකක් සහ ඝන මීටර් 2,000ක අතිරේක ටැංකියක් ඇතුළත් වේ.
මීට අමතරව, මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා කිලෝමීටර් 21ක දිගකින් සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් හරහා ඉන්ධන සැපයුම් පද්ධතිය සම්බන්ධ කිරීමට නියමිතය.



