
මිනුවන්ගොඩ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ඔක්තෝබර් 06 දක්වා රිමාන්ඩ්
මිනුවන්ගොඩ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අදාළ අල්ලස් නඩුවකදී ලිහිල් දඬුවමක් ලබා ගැනීම සඳහා අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගත් සැකකාර රෙජිස්ට්‍රාර්වරයා අද (02) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් සැකකරු ඔක්තෝබර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ සේවය කළ චරිත් නමැති පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ WhatsApp පණිවිඩ පරීක්ෂා කිරීමේදී සැකකාර රෙජිස්ට්‍රාර්වරයා සම්බන්ධ තොරතුරු අනාවරණය වූ බවත් කොමිසමේ නිලධාරීන් සඳහන් කර තිබේ.
එමෙන්ම සැකකරු සහ චරිත් නමැති පුද්ගලයා අතර අදාළ අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් හඬ පණිවිඩ සහ කෙටි පණිවිඩ හුවමාරු වී ඇති බවද අධිකරණයට දැනුම් දී ඇත. සැකකරු සිය ජංගම දුරකථනයේ තිබූ WhatsApp යෙදුම මකා දමා ඇති බවද කොමිසමේ නිලධාරීන් පවසා තිබේ.
විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට සඳහන් කර ඇත්තේ තම සේවාදායකයා මෙම සිද්ධියට අදාළව කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරු ඔක්තෝබර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.



