අධ්‍යාපන

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිලධාරීන් දැනුවත් කෙරේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පරිශ්‍රයේදී පැවැත්වී තිබේ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර ඇති ජාතික විෂයමාලා රාමුවට අදාළ සවිස්තරාත්මක කරුණුද මෙහිදී නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසු එම විෂයමාලා රාමුව අධ්‍යාපන නිලධාරීන්ගේ පරිහරණය සඳහා ලබාදීමට නියමිත බවද එහිදී සඳහන් කර ඇත.

යෝජිත රාමුවට අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් කාලය තුළ එක් කාල පරිච්ඡේදයක් මිනිත්තු 40කට සීමා කිරීමට යෝජනා කර තිබේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ සඳහා ඉදිරිපත් කෙරෙන විෂය සංඛ්‍යාව, සෞන්දර්ය හා ඉතිහාසය ඇතුළු විෂයන් මෙන්ම ඇගයීම් ක්‍රමවේදයේ සිදු කිරීමට නියමිත වෙනස්කම් පිළිබඳවද නිලධාරීන් දැනුවත් කර ඇත.

10 සහ 11 ශ්‍රේණි සඳහා යෝජිත වෘත්තීය විෂයන් සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම, වෘත්තීය මාර්ගෝපදේශනය සහ විදේශීය භාෂා ඇතුළු නව විෂය ක්ෂේත්‍ර හඳුන්වාදීමට ඇති යෝජනා පිළිබඳවද අවධානය යොමු වී ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් යටිතල පහසුකම් සහ ඩිජිටල් උපකරණ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබඳවද නිලධාරීන් දැනුවත් කර තිබේ.

මීට අමතරව පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන ගුරු පුහුණු වැඩසටහන්, අධ්‍යාපන මොඩියුල සකස් කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ කටයුතු පිළිබඳවද තොරතුරු ලබාදී ඇත.

2027 වසරේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව මේ වනවිට සිදුකර ඇති කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද වැඩසටහනට සහභාගී වූ නිලධාරීන් දැනුවත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button