ප්‍රධාන පුවත්

රථවාහන වැරදි කළොත් රියදුරන්ගේ ලකුණු අඩුවෙයි

රියදුරන්ගේ ලකුණු අඩුකිරීම සඳහා හඳුන්වාදීමට නියමිත නව ක්‍රමවේදයේ සය මසක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද (28) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඔහු පැවසුවේ අදාළ නියමු වැඩසටහන ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ DEMERIT SYSTEM ක්‍රමවේදය හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, වසර දෙකක කාලයක් සඳහා සෑම රියදුරෙකුටම නිශ්චිත ලකුණු ප්‍රමාණයක් ලබාදීමට නියමිත අතර, රථවාහන නීති උල්ලංඝනය කරන අවස්ථාවලදී අදාළ වරදට අනුව එම ලකුණු අඩු කිරීමට නියමිතය.

මේ වනවිට රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට පවතින මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් මෙම නව වැඩපිළිවෙළ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button