ප්‍රධාන පුවත්

කටුනායක අධිවේගයේ සොරකම්වලින් හානිය රු. මිලියන 1,770 ඉක්මවයි

කටුනායක අධිවේගයේ සොරකම් සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකදී, එම මාර්ගයට සිදුව ඇති සමස්ත හානිය රුපියල් මිලියන 1,770 ඉක්මවන බව අනාවරණය වී තිබේ.

2024 වසරට අදාළ විගණන වාර්තාවේ සඳහන් වන පරිදි, 2021 සිට 2023 දක්වා කාලය තුළ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි, විදුලි පහන් කණු ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධි 100ක් වාර්තා වී ඇත.

එම සොරකම් අතරින් සිද්ධි 11කදී සිදුවූ අලාභය රුපියල් මිලියන 580ක් ලෙස ගණනය කර තිබේ. කෙසේ වෙතත්, ඉතිරි සොරකම් 89ට අදාළ හානිවල වටිනාකම හඳුනාගෙන නොතිබූ බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

විගණන පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ අධිවේගී මාර්ගයේ මධ්‍ය තීරුවේ ස්ථාපිත කර ඇති විදුලි රැහැන් සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් ආවරණයකින් ආරක්ෂා කර නොතිබූ බවය.

ඒ වෙනුවට අඩි 3ක පමණ අර්ධ වෘත්තාකාර විෂ්කම්භයක් සහිත හියුම් පයිප්ප මගින් විදුලි රැහැන් අර්ධ වශයෙන් ආවරණය කර තිබූ බවද සඳහන් වේ.

එම ආරක්ෂණ ක්‍රමවේදය හේතුවෙන් විදුලි රැහැන් පහසුවෙන් කපා ඉවත් කර ගැනීමට හැකි තත්ත්වයක් පැවති බව ක්ෂේත්‍ර පරීක්ෂාවේදී නිරීක්ෂණය කර තිබේ.

2021 වසරේදී පළමු සොරකම වාර්තා වූ පසුවද සුදුසු ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

එමෙන්ම, අදාළ අධීක්ෂණ නිලධාරීන් විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පසුව සොරකම් සිද්ධි අඛණ්ඩව වර්ධනය වී ඇති බවද එහි දැක්වේ.

තවද, අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් 10 සඳහා සකස් කර ඇති ඇස්තමේන්තුව පදනම් කරගෙන ගණනය කිරීමේදී, සම්පූර්ණ මාර්ගයේ සිදුව ඇති හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 1,770කට වැඩි මුදලක් වැය වන බව විගණන වාර්තාව අනාවරණය කරයි.

කෙසේ වෙතත්, මෙම සොරකම් හා හානි සඳහා වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button