
2027න් පසු IMF වැඩසටහන ගැන දිනන දකුණෙන් අනතුරු ඇඟවීමක්
2027න් පසු IMF වැඩසටහන අත්හැරීම රටේ ආර්ථික ස්ථාවරත්වයට දැඩි අවදානමක් ඇති කළ හැකි බව ‘දිනන දකුණ’ සාමූහිකය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකින් පසු බිඳෙන සුලු වුවද ආර්ථික ප්‍රතිසාධනයක් කරා ගමන් කරමින් සිටින අවස්ථාවක, දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය රාමුවෙන් ඉවත්වීමට ගන්නා ඕනෑම තීරණයක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර, ඉන් අනතුරුව IMF සමඟ පවතින ව්‍යුහාත්මක සබඳතාව හදිසියේ අවසන් කිරීමට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවට තමන් නිරීක්ෂණය කර ඇති බවද ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙයි.
එවැනි ප්‍රවණතාවක් ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවදානම් සහගත තීරණයකට රට යොමු කළ හැකි බව එම සාමූහිකයේ අදහස වී තිබේ.
ජනප්‍රියවාදී දේශපාලන බලපෑම් මත රටේ ආර්ථික තීරණ ගැනීම සිදුකරමින්, IMF රාමුවෙන් බැහැරව ස්වාධීනව ආර්ථික ගමනක් යා හැකි බවට පවතින අදහස් මගින් රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ පවතින යථාර්ථය නොසලකා හැරෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.
දේශපාලන බලපෑම් හේතුවෙන් නැවතත් අතාර්කික සහනාධාර මත පදනම් වූ ආර්ථික ක්‍රමයකට යොමුවුවහොත්, දුෂ්කරතා මධ්‍යයේ ලබාගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටී රට යළිත් බංකොලොත්භාවය දෙසට ගමන් කළ හැකි බවද ‘දිනන දකුණ’ සාමූහිකය අනතුරු අඟවයි.
එබැවින් ඉදිරි අයවැය මගින් හඳුන්වාදීමට යෝජිත ඇතැම් ආර්ථික සහන සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවත්, එවැනි වියදම් රජයේ මූල්‍ය සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිත කිරීමක් බව තමන් සලකන බවත් එම සාමූහිකය වැඩිදුරටත් පවසයි.



