
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි
බිනර පුර පසළොස්වක පොහොය අදට (26) යෙදී තිබේ. ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකට මුල් වූ පූජනීය දිනයක් ලෙස මෙම පොහොය දිනය සැලකෙයි.
මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් පන්සිය දෙනෙකු පැවිදිභාවයට පත්වීමත් සමඟ භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ බිනර පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.
කාන්තාවන්ට පැවිද්ද ලබාදෙන ලෙස මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස කළ ඉල්ලීම පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම මත සලකා බලා, අෂ්ට ගරු ධර්ම පනවා කාන්තාවන්ට පැවිද්ද ලබාදීමට අවසර ලබාදී තිබේ.
භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා යන සිව්වනක් පිරිස සම්පූර්ණ වීම ද මෙම පොහොය දිනය හා සම්බන්ධ වැදගත් සිදුවීමක් ලෙස සැලකේ. වස් සමයේ අතරමැදි පොහොය ලෙසද බිනර පොහොය හැඳින්වේ.
තපස්සු සහ භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කළ ගිරිහඬු සෑය ඉදිකිරීමත්, ලාලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයට සම්බන්ධ බව සඳහන් වේ.



