
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කරමින් ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ජානකී සිරිවර්ධන මහත්මිය අත්අඩංගුවට ගෙන තිබුණි.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකාවක් වන ඇයට එරෙහි චෝදනාව වී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය ලබාදීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාට එම මුදල ලබාදුන් බවටය.
අදාළ රුපියල් මිලියන 70ක මුදල අවස්ථා තුනකදී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවටද ඇයට චෝදනා එල්ල වී තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් රක්ෂිත බන්ධනාගාර නියෝගය ලබාදී ඇත.
මේ අතර, අදාළ විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශයක් නාමල් රාජපක්ෂ මහතාගෙන් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසමට අවසර ලබාදීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාටද දැනුම් දී ඇත.



