
යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට ඉල්ලීමක්
යාපනය ශික්ෂණ රෝහලේ දැනට සිදු කෙරෙන ප්‍රතිකාර සේවාවන් සහ අනෙකුත් සත්කාර තවදුරටත් කාර්යක්ෂම ලෙස පුළුල් කර ගැනීම සඳහා අමතර කාර්ය මණ්ඩල අවශ්‍යතාවක් පවතින බව එහි පරිපාලන නිලධාරීන් සඳහන් කර තිබේ.
සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් යාපනය ශික්ෂණ රෝහල සම්බන්ධයෙන් සිදු කළ ආයතනික සමාලෝචනයේදී මෙම කරුණු ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.
එහිදී, යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද අදාළ නිලධාරීන් කාරක සභාව වෙත අවධාරණය කර ඇත.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ මේ වන විට ජාතික රෝහල් තුනක් පවතින අතර, අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කළ පසු නුදුරු අනාගතයේ යාපනය ශික්ෂණ රෝහලද ජාතික රෝහලක් ලෙස පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම, රෝහලේ කාර්ය මණ්ඩල අවශ්‍යතා සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කළ යුතු බව කාරක සභා සභාපතිවරයාද මෙහිදී පෙන්වා දී ඇත.
අතිරේකව, යාපනය ශික්ෂණ රෝහලට අභ්‍යන්තර විගණකවරයෙකු පත් කර රෝහල් පරිපාලනය ඇතුළු සමස්ත ක්‍රියාකාරිත්වයේ විනිවිදභාවය සහ නිසි පාලනය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙසද රෝහල් පරිපාලන බලධාරීන් කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.



