කාලගුණය

දින 10කින් කාලගුණයේ වෙනසක්

දින 10කින් කාලගුණයේ වෙනසක් සමඟ දිවයින පුරා පැතිරුණු වර්ෂාපතන තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය සූදානම් කිරීම් සිදුකර තිබුණද, ඉදිරියේදී ඇතිවිය හැකි තද වැසි, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන්ටද සූදානම් විය යුතු බවය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙක තුළ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව ඔහු සඳහන් කළේය. එම කාලය තුළ ඇතැම් ප්‍රදේශවල ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක්ද පවතින බව අජිත් විජේමාන්න මහතා පැවසීය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී බෙංගාල බොක්ක ආශ්‍රිතව නිරන්තරයෙන් කැලඹිලි ස්වභාවයන් ඇතිවන අතර, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව සඳහන් කළ අජිත් විජේමාන්න මහතා, දෙසැම්බර් මාසයේදී දිවයිනේ ඊශාන දිග ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද පැවසීය.

මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, IOD (Indian Ocean Dipole) තත්ත්වය හේතුවෙන් ඇතැම් අවස්ථාවල එම ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් පවා ඇතිවිය හැකි බවද අජිත් විජේමාන්න මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වර්ෂාපතනය අඩු කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ දිවයිනට ලැබෙන වර්ෂාපතනය නිසි ලෙස කළමනාකරණය කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button