
22 වැනි සංශෝධනයට එරෙහි සජබ විරෝධය 24දා කොළඹදී
22 වැනි සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වැනිදා කොළඹදී දැවැන්ත ජනතා පෙළගැස්මක් පැවැත්වීමට සමගි ජන බලවේගය සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් සමඟ අද (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී විපක්ෂ නායකවරයා චෝදනා කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය 22 වැනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කරමින් තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවයි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ආණ්ඩුව සතු වුවද, ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් අහිමි කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
22 වැනි සංශෝධනයට එරෙහිව මුලින්ම හඬ නැගූ පාර්ශ්වය සමගි ජන බලවේගය බවත්, ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ පරාජය කිරීමට සියලු ප්රගතිශීලී ජනතාවගේ සහය අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
ඒ අනුව ආණ්ඩුවේ පාලන ක්‍රියාමාර්ගයට එරෙහිව ප්‍රබල පියවරක් ලෙස සැප්තැම්බර් 24 වැනිදා කොළඹදී පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණය සංවිධානය කරන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



