සෞඛ්‍යය

නව පනත් කෙටුම්පතෙන් සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය වෙයි

සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කිරීම ඇතුළු ජලභීතිකා රෝගය පාලනයට අදාළ නව නීති හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ අරමුණින් සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සිදුකරන සුනඛ අභිජනනය නියාමනය කිරීම මෙම නව නීති මගින් අපේක්ෂා කර ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතනයක පරිපාලන සීමාව තුළ සිටින සියලුම සුනඛයින් වාර්ෂිකව ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර ලියාපදිංචි කිරීමට පියවර ගැනීමට නියමිතය.

සති 06කට වැඩි වයසැති සුනඛයෙකු සම්බන්ධයෙන් එහි හිමිකරු හෝ එම සත්වයා භාරයේ තබාගෙන සිටින පුද්ගලයා විසින් වාර්ෂික එන්නත් කිරීම සහ අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචිය සිදුකළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.

එන්නත ලබාදීමෙන් අනතුරුව එන්නත් සහතිකයක් නිකුත් කිරීමට නියමිත අතර, නියමිත ගාස්තුව ගෙවීමෙන් පසු සුනඛයා පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කර ලියාපදිංචි සහතිකයක් ලබාදීමට යෝජනා කර තිබේ.

සුනඛයෙකු ලියාපදිංචි නොකළහොත් අදාළ ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් අය කිරීමට ද නව පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

එමෙන්ම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ ආයාලේ යන සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීමට හෝ පූමංගහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගැනීම ද අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.

මේ අතර සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඒ සඳහා අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවද පනත් කෙටුම්පතේ දැක්වේ.

බලපත්‍රයක් නොමැති පුද්ගලයන්ට සුනඛ පැටවුන් අලෙවි කිරීමේ කටයුතු සිදුකිරීමට අවසර ලබා නොදීමට ද නව නීති මගින් යෝජනා කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button