
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ආරක්ෂක සහයෝගීතාව ගැන සාකච්ඡා
ආපදා ප්‍රතිචාර, යටිතල පහසුකම්වල ස්ථායිතාව සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් කැනඩාවේදී පවත්වා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක බලකා කාර්යාංශයේ ප්‍රධානී ජෙනරල් ස්ටීවන් නෝර්ඩාස් මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.
ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිරෝධීතාව ඉහළ නැංවීම සහ හදිසි අවස්ථාවලදී කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකර තිබේ.
එමෙන්ම මානුෂීය ආධාර සහ ආපදා සහන කටයුතු සඳහා අවශ්‍ය විශේෂිත උපකරණ ලබාදීම තුළින් මෙරට ආපදා ප්‍රතිචාර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් නව ක්ෂේත්‍ර හඳුනාගෙන නිතිපතා සංවාද පවත්වාගෙන යන ලෙසද ආරක්ෂක ලේකම්වරයා අමෙරිකානු පාර්ශ්වයට ආරාධනා කර ඇත.
ආපදා සූදානම, මානුෂීය ප්‍රතිචාර සහ ආයතනික ස්ථායිතාව සඳහා අවශ්‍ය හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණ මෙම සාකච්ඡා තුළින් පිළිබිඹු වන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



