ක්‍රීඩා

දෙවන ටෙස්ට් තරගය නවකයන්ගේ සටනින් ගෞරවාන්විත ලෙස අවසාන්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද (27) ජයපරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ අවසන් දිනයට පිවිසෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, දිනය අවසන් වන විට තවත් ලකුණු 200ක් එක්කර ගනිමින් කඩුලු 9ක් දැවී ලකුණු 429ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගය ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 216ක ඉදිරියක් ලබාගනිමින් තරගය ගෞරවාන්විතව අවසන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ විශිෂ්ටතම පිතිකරු බවට පත්වූ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 133ක් රැස් කළේය. පන්දු 264කට මුහුණදුන් ඔහු මිනිත්තු 420ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය.

පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් සහ ටෙස්ට් වරම් හිමිකරගත් කේෂර නුවන්ත ලකුණු 46ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිමට වැදගත් දායකත්වයක් ලබා දුන්හ.

නවක පිතිකරු කේෂර නුවන්ත සහ සොනාල් දිනූෂ එක්ව 7වැනි කඩුල්ල සඳහා පන්දු 246කදී ලකුණු 112ක සබඳතාවක් ගොඩනැගීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව සොනාල් සමඟ එක්වූ ළහිරු කුමාර 8වැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගීමට දායක විය. ළහිරු කුමාර පන්දු 90කට මුහුණ දෙමින් ලකුණු 12ක් රැස් කරමින් කඩුල්ල ආරක්ෂා කරගැනීමට දැක්වූ දායකත්වයද කැපී පෙනුණි.

තරගයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 3ක් පමණක් අහිමි කරගනිමින් ලකුණු 200ක් එක්කර ගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අවස්ථාව අහිමි විය.

කෙසේ වෙතත්, දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ඉන්දියාව තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට සමත් විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button