ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ ගැන බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්

සලේගේ බිරිඳගෙන් ජනපතිට දැඩි ඉල්ලීමක්

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ රඳවා නොතබන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අගෝස්තු 20 වැනිදා යොමුකර ඇති එම ලිපිය මගින් ඇය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍ය රැකවරණයෙන් සුරේෂ් සලේ මහතා ඉවත් කර නැවත CID භාරයට පත් කිරීමට ගන්නා ඕනෑම පියවරක් ඔහුගේ ජීවිතයට ක්ෂණික හා බරපතළ අවදානමක් ඇති කළ හැකි බවයි.

සුරේෂ් සලේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි

රඳවා තබා ගැනීමට සහ සිරගත කිරීමේ තත්ත්වයන්ට විරෝධය පළ කරමින් සුරේෂ් සලේ මහතා උපවාසයක් ආරම්භ කිරීමෙන් අනතුරුව, 2026 ජුනි 7 වැනිදා ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

එතැන් සිට ඔහු හෘද රෝග අංශයට අනුයුක්ත වෛද්‍ය විශේෂඥයන්ගේ අධීක්ෂණය සහ ප්‍රතිකාර යටතේ පසුවන බවද බිරිඳ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත.

සුරේෂ් සලේට හෘද සැත්කමක්

හෘද ක්‍රියාකාරිත්වය අඛණ්ඩව දුර්වල වීම සහ බරපතළ ශාරීරික දුර්වලතාව හේතුවෙන් සුරේෂ් සලේ මහතාට හෘද සැත්කමක් සිදුකර ඇති බවද මනෝරි සලේ මහත්මිය පවසයි.

එහිදී ඔහුගේ හෘද ස්පන්දනය නියාමනය කිරීම සඳහා ස්වයංක්‍රීය හෘද ස්පන්දන නියාමක යන්ත්‍රයක් සවි කර ඇති බව වෛද්‍යවරුන්ගෙන් තමන්ට දැනගැනීමට ලැබුණු බවද ඇය සඳහන් කර තිබේ.

රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ නොකරන ලෙස ඉල්ලයි

මේ වනවිට සුරේෂ් සලේ මහතා ඉතා අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයක පසුවන බැවින්, ඔහුට අඛණ්ඩ හා විශේෂිත වෛද්‍ය නිරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව මනෝරි සලේ මහත්මිය පෙන්වා දී තිබේ.

එම තත්ත්වය තුළ දැනට පවතින රඳවා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙසත්, ජාතික රෝහලේ වෛද්‍ය රැකවරණයෙන් ඔහුව ඉවත් කර CID භාරයට යැවීමට කටයුතු නොකරන ලෙසත් ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, කිසිදු නීත්‍යානුකූල විමර්ශනයකට බාධා කිරීමේ හෝ එය ප්‍රමාද කිරීමේ අදහසක් තම සැමියාට හෝ පවුලේ කිසිදු සාමාජිකයෙකුට නොමැති බවද ඇය අවධාරණය කර ඇත.

නීතියට අනුකූලව සිදුකරන ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය ලබාදීමට තම පවුල සූදානම් බවද මනෝරි සලේ මහත්මිය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button