ප්‍රධාන පුවත්

ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී පළමු

මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට අමතරව, සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් ගෙවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නියමිත බවද සඳහන් වේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2026 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හා වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී අමාත්‍යාංශ නිලධාරීන් විසින් මෙම සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සපුරාලමින් රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබාදීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය, දත්ත ආරක්ෂණ අධිකාරිය, GovTech ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ඇතුළු ආයතන මගින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද අවධානය යොමුව ඇත.

ජනතාවට රජය සමඟ සිදුකරන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති govPay වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයට පමණක් ගෙවීමේ පහසුකම් සැලසීමට නියමිතය.

එමෙන්ම National Super App, National QR Drive, National Data Exchange (NDX), Number Portability සහ රාජ්‍ය ඩිජිටල් ප්‍රසම්පාදන හා සේවා වේදිකාව ඇතුළු ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳවද සාකච්ඡා කර ඇත.

රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක PIC-Net වැඩසටහන, Data Transmission Unit (DTU), AI දත්ත මධ්‍යස්ථානය සහ GovTech Academy වැඩසටහනේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සමාලෝචනය කර තිබේ.

මීට අමතරව GovTech ආයතනය ආරම්භ කිරීම, තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button