
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (19) පැවැත්වෙන දෙවන කුඹල් පෙරහැර හේතුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
මහනුවර දෙවන කුඹල් පෙරහැර අද පස්වරු 6.41ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වන පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතව ඇත.
පෙරහැර වෙනුවෙන් ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර, මාර්ග බාධක යෙදීම, රථ වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථ වාහන ගාල් කිරීම ඇතුළු වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.
බර වාහන සඳහා විකල්ප මාර්ග
කටුගස්තොට දෙසින් මහනුවරට පැමිණෙන සියලු බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දිය හරහා නගරයට ඇතුළු විය හැකිය.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ හරස් වීදියටත්, එතැනින් යටිනුවර වීදියටත් ගමන් කර දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාවත ඔස්සේ ධාවනය කළ හැකිය.
මහනුවර නගරයෙන් කටුගස්තොට දෙසට පිටවන වාහන සඳහා පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කිරීමේ හැකියාව පවතී.
අම්පිටිය සහ තැන්නේකුඹුර දෙසින් පැමිණෙන වාහන
තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර සහ දුම්රිය පොළ ආසන්නයෙන් ගමන් කළ හැකිය.
එහිදී කොළඹ දෙසට ධාවනය වන වාහන වම් පසින්ද, මහනුවර නගරය දෙසට යන වාහන දකුණු පසින්ද ගමන් කළ යුතුය.
රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළුවීමටද අවස්ථාව සලසා තිබේ.
නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදියට පිවිස රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසුකර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
බෝගම්බර වටරවුමෙන් ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කිරීමටද හැකිය.
කොළඹ දෙසින් මහනුවරට ඇතුළුවීමට සහ මහනුවරින් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කරයි.
පෙරහැර මංගල්‍යය අගෝස්තු 28 දක්වා

මේ අතර, ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1716 වැනි ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ (18) පස්වරු 6.52ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ විය.
එහිදී කරඬුව වැඩම කිරීමේ භාග්‍යය ශ්‍රී දළදා මාලිගාවේ මංගල හස්තියා වන ඉන්දිරාජා හස්තියාට හිමි වූ අතර, දෑලේ ඇතුන් ලෙස මියන් රාජා සහ කෝට්ටේ රාජා හස්තීහු එක්වූහ.
සාම්ප්‍රදායික හා විචිත්‍රවත් නර්තනාංග රැසකින් සමන්විත පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී දළදා මාලිගාව විසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු 28 වනදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය.



