
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැරේ කුඹල් පෙරහැර අගෝස්තු 18 වැනිදා සිට 22 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර, රන්දෝලි පෙරහැර අගෝස්තු 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි සිදු කිරීම, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථවාහන ගාල් කිරීම ඇතුළු වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවෙන් විශේෂ ආරක්ෂාවක්
මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,200ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 29ක් යෙදවීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව පොලිස් නිල සුනඛයන්ගේ සහායද ආරක්ෂක කටයුතු සඳහා ලබාගැනීමට නියමිතය.
පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14ක් ආවරණය වන පරිදි මාර්ග බාධක රාජකාරි ක්‍රියාත්මක කර ආරක්ෂාව තර කිරීමටද පොලීසිය සැලසුම් කර ඇත.
රථවාහන ගාල් 13ක් සූදානම්
පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් රථවාහන ගාල් 13ක් සකස් කිරීමට නියමිතය.
ඒ යටතේ සැහැල්ලු වාහන සඳහා රථගාල් 6ක් සහ බර වාහන සඳහා රථගාල් 7ක් වෙන් කිරීමට කටයුතු කර තිබේ.
එමෙන්ම පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය මඟහැර ගමන් කිරීමට විකල්ප මාර්ගද හඳුන්වා දී ඇති බැවින්, අදාළ කාලය තුළ එම විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.





