ප්‍රධාන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරලා නෑ – ඇමති නලින්ද ජයතිස්ස

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කිසිදු ආකාරයකින් වැඩි කිරීමට රජය පියවර ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ඉහළ දමා ඇති බවට ඇතැම් පාර්ශ්වයන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම අදහස ඇතිවීමට හේතුවී ඇත්තේ මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් සිදුකර ඇති ගණනය කිරීමක් බවයි.

එම ඉන්ධන දීමනාව පවතින ඉන්ධන මිලට සාපේක්ෂව ගණනය කරන බවත්, ඒ හේතුවෙන් දීමනාවේ අගය වෙනස් විය හැකි නමුත් එය මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් නොවන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරලා නෑ. 50,000න්, 60,000න්, 100,000න් හරි කීයකින් වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරලා නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයක් පවතිනවා. ඒ ඉන්ධන ලීටර් ප්‍රමාණයට සාපේක්ෂව ඒක දීමනාවක් හැටියට එකතු වෙනවා. මේක සාමාන්‍යයෙන් ඒ මොහොතේ පවතින තෙල් මිලත් එක්ක තමයි ගණනය කිරීම් කරන්නේ. හැබැයි 2026 මාර්තු මාසේ ඉඳලා ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක මේ ප්‍රමාණය ගණනය කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රජයේ නිලධාරීන්ට සිදුවුණානම් ඒක විශාල වැඩිවීමක් වෙනවා. ඒ නිසා 2026 මාර්තු මාසේ 1 වැනිදා තිබුණු තෙල් මිල පදනම් කරගෙන තමයි ගණනය කිරීම් කළේ. මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි දක්වා ඒ කාලේ තෙල්මිලට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ඒ ගණන් හැදුවානම් මීට වඩා ඉහළ ප්‍රමාණයක් ඔවුන්ට හිමිවෙනවා. නමුත් අපි මාර්තු 1 වැනිදා පැවැති මිල අනුව ගණන් හැදුවා ඒ චක්‍රලේඛය අපි ජූලි මාසේ 1 වැනිදා අවසන් කළා. ජූලි මාසේ 1 වැනිදා ඉඳලා ගණන් හැදෙන්නේ. 1 වැනිදාට වෙළෙඳපොලේ පවතින මිල අනුව. අඩු වුණොත් අඩු වෙනවා වැඩි වුණොත් වැඩි වෙනවා. ඒ අනුව තමයි තෙල් මිල වැඩි වුණ නිසා අර අමතරව එකතු වෙච්ච ගණනක් ගණන් හදලා පෙන්වලා තියෙන්නේ.“

ඒ අනුව, ඉන්ධන මිල වෙනස්වීම මත ඉන්ධන දීමනාවට අදාළව සිදුවන ගණනය කිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් ලෙස සැලකිය නොහැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button