
උසස් පෙළ ප්‍රතිඵල වසර අවසන් වීමට පෙර – විභාග කොමසාරිස් ජනරාල්වරිය
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.
අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ සැප්තැම්බර් 03 වැනිදා සිට උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.
2026 උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වූ අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතය.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 දෙනෙකු ඇතුළුව අපේක්ෂකයින් 372,310 දෙනෙකු පෙනී සිටින බව සඳහන් වේ.
විභාග කටයුතු දිවයින පුරා අද උදෑසන 8.30ට නියමිත පරිදි ආරම්භ කර ඇති අතර මේ දක්වා කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළාය.
සංශෝධනය කර ඇති විභාග කාලසටහන පිළිබඳව අවධානය යොමු කර එහි සඳහන් දින හා වේලාවන්ට අනුව විභාගයට පැමිණෙන ලෙසද ඇය අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියාය.
විභාග ශාලා වෙත ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, ඉලෙක්ට්‍රොනික උපකරණ, සටහන් සහ වෙනත් තහනම් ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දී තිබේ.
විභාග ශාලාව තුළ කතාබහ කිරීම, පිළිතුරු පත්‍ර හුවමාරු කර ගැනීම හෝ විභාගයට බාධා වන ආකාරයෙන් හැසිරීම ඇතුළු අක්රමිකතාවල නිරත වන අපේක්ෂකයින්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය. එවැනි අවස්ථාවල ප්‍රතිඵල අත්හිටුවීමද සිදු කළ හැකි බව ඇය පැවසුවාය.
විභාග කාර්ය මණ්ඩලය අතරින් ජංගම දුරකථන භාවිත කිරීමට අවසර ලබාදී ඇත්තේ විභාග ශාලාධිපතිවරුන්ට සහ අතිරේක සහකාර ශාලාධිපතිවරුන්ට පමණක් බවද ඇය පැහැදිලි කළාය.
විභාග කටයුතු සඳහා සහභාගී වන කාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත්, විභාග අක්රමිකතාවලට සම්බන්ධ වන ඕනෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට විභාග පනතට අනුව දඬුවම් පමුණුවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය කියා සිටියාය.
මේ අතර, දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් මේ වන විට ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බවද ඇය සඳහන් කළාය. යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා අදාළ සියලු ආයතන සූදානමින් සිටින බවද ඉන්දිකා කුමාරි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.



