
බන්ධනාගාර ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගනී
බන්ධනාගාර ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. කුරුවිට, පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාරවල ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයන්ට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අදාළ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
කුරුවිට, පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර තුළ පසුගිය 06 සහ 07 යන දිනවලදී ගැටුම්කාරී තත්ත්වයන් හටගෙන තිබුණි.
එම සිද්ධීන්වලදී රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ අතර, කුරුවිට බන්ධනාගාරයේ ඊයේ (07) ඇති වූ නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් සිරමැදිරිවල වහල කඩා විනාශ කර ඇති බව වාර්තා වේ.
එම වහල විනාශ වීමත් සමඟ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ රැඳවියන් අදාළ ස්ථානවල රඳවා තැබීමේ ගැටලුවක් මතුව තිබේ.
ප්‍රදේශයට නිරන්තරයෙන් වැසි ලැබීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් ගැටලුකාරී වී ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අද (08) රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ මැදිහත්වීමෙන් සොයා බැලීම් සිදුකර ඇති අතර, බන්ධනාගාරයේ ආරක්ෂාව ද තර කර තිබේ.
කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුරදී රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගේ සිරුරුවල වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ තවදුරටත් එම බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අවස්ථාව ලබා නොදෙන බවයි.



