
අද සිට වැසි සහ සුළං තවත් ඉහළට
අද සිට වැසි සහ සුළං තත්ත්වය තවත් ප්‍රබල වෙයි
සක්‍රීය නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් අද (06) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි සඳහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතී.
අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ දැක්වේ.
මේ අතර උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



