ප්‍රධාන පුවත්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එන දිනය

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එදිනම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගත් තීරණයට මුල් අවස්ථාවේ සිටම ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාත්‍යන්තර සංවිධාන රැසකින් විරෝධය එල්ල විය.

එම විරෝධතා මධ්‍යයේ අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කළේය.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේදීද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ සංශෝධනය සිදුකළ යුතුය යන ස්ථාවරයේ සිටි බව වාර්තා විය.

එවැනි පසුබිමක ලබන 18 වැනිදා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා තහවුරු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට දින 14ක කාලයක් හිමිවේ.

එවැනි පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව දින 3ත් 21ත් අතර කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button