ප්‍රධාන පුවත්

TIN අංකය අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 01 දක්වා කල් යයි

TIN අංකය අනිවාර්ය කිරීමේ නියමය ක්‍රියාත්මක කිරීම 2027 වසරේ අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.

TIN අංකය අනිවාර්ය කිරීම කල් යයි: ගනුදෙනු වර්ග අටකට අදාළ නව තීරණය

නිශ්චිතව හඳුනාගෙන ඇති ගනුදෙනු වර්ග අටක් සඳහා TIN අංකය සහිත වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම මෙලෙස කල් දමා ඇත.

මීට පෙර මෙම නියමය මේ මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණි. ඒ අනුව අදාළ ගනුදෙනුවල නිරත වන පුද්ගලයන් විසින් වලංගු TIN සහතිකය ඉදිරිපත් කළ යුතු බවට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර තිබිණි.

කෙසේ වෙතත්, TIN සහතිකය ලබාගැනීම සඳහා පුද්ගලයන් අතර ඉහළ ඉල්ලුමක් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය මත අදාළ අනිවාර්ය අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමේ දිනය 2027 අප්‍රේල් 01 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මෙම කාලය තුළ දැනටමත් TIN අංකය සඳහා ලියාපදිංචි වී සිටින පුද්ගලයන්ට එම සහතිකය වඩාත් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි විකල්ප ක්‍රමවේද හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනු ඇත.

එමෙන්ම මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත ඊ-සේවා පහසුකම ඔස්සේ ලියාපදිංචි වන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button