ව්‍යාපාරික

හෝමුස් වසා දැමීමෙන් බොරතෙල් මිල නැවත ඉහළට

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව නව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් අනතුරුව, ප්‍රතිචාරයක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ලෝක බලශක්ති ප්‍රවාහනයේ අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන එම සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

අද (11) වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.30කින් හෙවත් 2.47%කින් ඉහළ ගොස් ඩොලර් 95.40ක් දක්වා වාර්තා වූ අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.60කින් හෙවත් 2.89%කින් ඉහළ ගොස් ඩොලර් 92.63ක් දක්වා වැඩි වී ඇත.

ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු සියලු වාණිජ යාත්‍රා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවයි. එමෙන්ම එම ප්‍රදේශය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවටද අනතුරු අඟවා ඇත.

කෙසේ වෙතත්, අමෙරිකානු හමුදාව සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ වාණිජ නෞකා තවදුරටත් ආරක්ෂිතව එම මුහුදු මාර්ගය භාවිත කරන බවයි.

මේ අතර, අමෙරිකානු යුද නැව් ඉලක්ක කර ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළද, තම කිසිදු යුද නෞකාවකට හානි සිදුව නොමැති බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ ඇති කරගත් සටන් විරාමයෙන් පසු නැවතත් උණුසුම් තත්ත්වයක් මතු කරමින්, අමෙරිකානු හමුදාව ඉරානයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, එය කලාපීය ගැටුමක් තවත් උග්‍ර වීමේ ලකුණු පෙන්නුම් කරන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button