විදෙස්

අද පැවැත්වෙන තායිලන්තයේ මහ මැතිවරණය

වසර ගණනාවක් පුරා පැවති දේශපාලන කැලඹිලිවලින් අනතුරුව තායිලන්ත මහ මැතිවරණය අද (08) පැවැත්වෙයි. පැවැත්වෙන මෙම මැතිවරණය සඳහා තායිලන්තයේ මිලියන ගණනක් වූ ඡන්දදායකයින් ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව, ඡන්ද විමසීම මේ වන විටත් ආරම්භ වී ඇති බව සඳහන් වේ. වසර තුනක කාලයක් තුළ එරට තුන්වන නායකයා වන අගමැති අනුටින් චාන්විරකුල් විසින් මෙම හදිසි මහ මැතිවරණය කැඳවා තිබුණි.

මෙවර මැතිවරණයෙන් ඔහුගේ භුමිජයිතායි පක්ෂය හෝ ඡන්ද විමසීම්වලින් ඉදිරියෙන් සිටින ප්‍රගතිශීලි මහජන පක්ෂය බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා නොකරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ආසන 500කින් සමන්විත තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වේ. එම ආසන අතරින් 400ක් මන්ත්‍රී කොට්ඨාසවලින් සෘජුවම තේරී පත්වන නීති සම්පාදකයින් සඳහා වන අතර, ඉතිරි 100 ආසන පක්ෂ ලැයිස්තු ආසන ලෙස සමානුපාතික නියෝජනය මත තීරණය වන බව තායිලන්ත මාධ්‍ය සඳහන් කරයි.

පවතින දේශපාලන අස්ථාවරත්වයට විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙවර මහ මැතිවරණය තායිලන්තයට ඉතා තීරණාත්මක එකක් බවට පත්ව ඇත.

පසුගිය 2025 වසරේදී තායිලන්ත–කාම්බෝජ දේශසීමාවේදී කාම්බෝජ සොල්දාදුවෙකු මිය යාමෙන් අනතුරුව දෙරට අතර යුද ගැටුම් හටගත් බව වාර්තා විය.

එම පසුබිම මැද, එවකට අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා කාම්බෝජ සෙනට් සභාවේ සභාපති හුන් සෙන් සමග පැවැත්වූ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් අනුව ඇයව ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

එම සිද්ධිය හේතුවෙන් පේටොංටාර්න්ගේ ෆියු තායි පක්ෂයේ ප්‍රධානතම සන්ධාන හවුල්කරුවා වූ භුම්ජයිතායි පක්ෂය රජයෙන් ඉවත් වූ අතර, පසුව ප්‍රගතිශීලි මහජන පක්ෂය සමග ඇති කරගත් නව සන්ධානයක් මගින් භුම්ජයිතායි පක්ෂ නායක අනුටින් චාන්විරකුල් නව රජයක් පිහිටුවීය.

එම නව රජය පිහිටුවීමේදී කොන්දේසි කිහිපයක් එකඟ කරගෙන තිබූ අතර, මාස කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද එම කොන්දේසි අතර ඇතුළත් විය. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගනු ලැබීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button