ප්‍රධාන පුවත්

විනය කඩන පොලිස් නිලධාරීන්ට දැඩි පියවර ගන්නා බව පොලිස්පති කියයි

විනය කඩන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව ක්‍රියා කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පොලීසිය හමුවේ පවතින ප්‍රධාන අභියෝග ජය ගැනීම සඳහා මානව සම්පත් හා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ විනය පාලනය ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.

මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යසනය පාලනය කිරීම සහ රථවාහන පාලනය හෙවත් මාර්ග විනය පවත්වාගෙන යාම පොලීසිය හමුවේ පවතින ප්‍රධාන අභියෝග තුන බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

විනය පාලනයකින් තොර ආයතනයක් කඩා වැටීම වැළැක්විය නොහැකි බැවින් පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

වසරකට පොලිස් නිලධාරීන් 2,000ත් 2,500ත් අතර සංඛ්‍යාවක් විශ්‍රාම යන අතර, හදිසි අනතුරු සහ ස්වාභාවික හේතු මත තවත් 250කට පමණ පිරිසක් මියයාමට හෝ ආබාධිත තත්ත්වයට පත්වීමට සිදුවන බවද පොලිස්පතිවරයා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය තුළ මේ වනවිට නිලධාරීන් 38,000ත් 40,000ත් අතර හිඟයක් පවතින බවත්, එම හිඟය පියවීම සඳහා නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.

දැනටමත් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති අතර තවත් 950කට ආසන්න පිරිසක් ඉදිරියේදී බඳවා ගැනීමට නියමිත බවද පොලිස්පතිවරයා පැවසීය.

දීර්ඝ කාලයක් පැවති උසස්වීම් ප්‍රමාදයන් සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඔහු, 2019 දක්වා පැවති ප්‍රමාදයන් අවසන් කරමින් නිලධාරීන් 4,000කට වැඩි පිරිසකට උසස්වීම් ලබාදී ඇති බව සඳහන් කළේය.

එමෙන්ම 2025 දක්වා කාලසීමාව වෙනුවෙන් තවත් නිලධාරීන් 2,000කට ආසන්න පිරිසකට උසස්වීම් ලබාදී ඇති බවත්, දැනට පැවැත්වෙන කුසලතා සම්මුඛ පරීක්ෂණ සහ ඉදිරි තරග විභාග හරහා උසස්වීම් සම්බන්ධ ගැටලු මෙම වසර තුළ විසඳීමට නියමිත බවත් ඔහු පැවසීය.

ලබන වසරේ සිට වසරක් පාසා නියමිත වේලාවට උසස්වීම් ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සංකීර්ණ සමාජයක පවතින ගැටලු සහ අපරාධ විසඳීම සඳහා පොලිස් නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා විශේෂ පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.

මේ යටතේ පොලිස් කොස්තාපල්වරුන්ටද විදේශ ශිෂ්‍යත්ව සඳහා අවස්ථාව ලබාදී ඇති අතර, මේ වනවිට නිලධාරීන් 1,000කට ආසන්න පිරිසක් විදේශ පුහුණු සඳහා යොමුකර ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.

ඉදිරියේදී අවශ්‍ය ඉංග්‍රීසි දැනුම සහිත ඕනෑම නිලධාරියෙකුට තරාතිරම නොබලා ඉන්දියානු ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බවද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

“පැය ගණන විතරක් පොතෙන් වැඩ කරලා, ගියා කියලා සන්තෝස වෙන්න බෑ. ඒ හින්දා එහෙම සන්තෝස වෙච්ච කට්ටියට ජීවිතයේ යම්කිසි දවසක පසුතැවීමක් වෙනවා. මොකද, මගේ කාලයේ මා කළ යුතු දේවල් කිසිම දෙයක් නිසියාකාරයෙන් කළේ නෑ කියලා.. ඒ නිසා මම පොලීසියේ පහළම ස්තරයේ ඉඳලා, අද මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මම මං ගැන පසු විපරමක් තිබුණ හින්දා. ඒ පසු විපරම තුළ මම පොලිස්පති වුණාට පස්සෙත්, මගේ අවුරුද්ද තුළ මගේ වැඩබලන පොලිස්පති විදිහට කරපු වැඩ ටිකත්, ඊට පස්සේ පොලිස්පති තනතුර ලැබීමෙන් පසුව කරපු දේවල් සම්බන්ධයෙනුත් මට පසු විපරමක් තිබුණා. ඒ කාර්ය සාධනයේ මා ඉෂ්ට කළ යුතුයි, ඒ ඉෂ්ට කළ යුතු වෙන්නේ මට බැබලෙන්න නෙමෙයි, මගේ සේවය බැබලෙන්න. මගේ මේ පොලිස් සේවය කියන සේවය බැබලෙන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සේවය බැබලෙන්න නම්, ඒ බැබලෙන්න ඕන මහජනයා ඉස්සරහා. මහජනයාට නොගැලපෙන පොලීසියක්, මහජන විශ්වාසය නැති වූ පොලීසියක්… කවදාවත් අපිට මහජන විශ්වාසයකින් තොරව පොලීසියක් පවත්වාගෙන යන්න බෑ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button