
වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ සැලසුමක්
යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර, මෙවර සමස්ත වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වී මිලදී ගැනීමේ වැඩසටහන ඊයේ (13) දිනයේදී ආරම්භ කළ බවයි.
එහිදී රුපියල් මිලියන 3ක පමණ වටිනාකමකින් යුත් වී මිලදී ගැනීම් සිදුකර ඇති අතර, වී මෙට්‍රික් ටොන් 25ක් පමණ ලැබී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
රජයේ සැලසුම අනුව එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2,500ක් මිලදී ගැනීමට කටයුතු කරන බවත්, මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට යාමේදී එම ප්‍රමාණය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ නම්, පෞද්ගලික අංශයේ ගබඩා තාවකාලික පදනම මත ලබාගෙන වී ගබඩා කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
“ඊයේ තමයි මේක ආරම්භ කළේ ක්‍රමානුකූලව වී ගබඩා 148ක වී මිලදී ගැනීමට කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 39,500ක් වී මිලදී ගන්න. ඊයේ දිනයේදී මෙට්‍රික් ටොන් 25ක් ලැබිලා තිබුණා. රුපියල් මිලියන 3ක පමණ වී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබුණා. දැන් 2,500 මදිද වැඩිද අඩුද කියන එක මිලදී ගැනීමේ ක්‍රියාවලිය යනකොට තමයි තීන්දු කරන්න වෙන්නේ දැනට එක් ගොවියෙකුගෙන් 2,500 තමයි එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නේ. මේ ගබඩාවල ඉඩපහසුකම් නොමැති වුණොත් රජය මැදිහත්වෙලා පුද්ගලික අංශයේ ගබඩා තාවකාලිකව අරගෙන ගබඩා කිරීම් කටයුතු කරනවා.”



