ප්‍රධාන පුවත්

වහල සූර්ය පැනල විදුලි උත්පාදනය ඉහළට

වහල සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ප්‍රමාණය පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) පාර්ලිමේන්තුවේදී විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මේ වනවිට වහල මත සවිකර ඇති සූර්ය පැනල මගින් ගිගාවොට් 2,500ක පමණ විදුලි ප්‍රමාණයක් ජනනය වන බවද ඔහු පැවසීය.

ඉදිරි වසරවල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති

2027 සිට 2029 දක්වා කාලය තුළ සූර්ය බලය, සුළං බලය සහ බැටරි බලය ඇතුළු බලශක්ති මූලාශ්‍ර හරහා ගිගාවොට් 2,700කට අධික ධාරිතාවක් විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ යටතේ සූර්ය බලයෙන් ගිගාවොට් 1,392ක්, සුළං බලයෙන් ගිගාවොට් 370ක් සහ බැටරි බලයෙන් ගිගාවොට් 1,000ක් පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

අතිරික්ත විදුලිය ගබඩා කිරීමට බැටරි පද්ධති

සූර්ය බලයෙන් විදුලිය වැඩි වශයෙන් නිපදවන ඇතැම් අවස්ථාවලදී පද්ධතිය තුළ අතිරික්ත විදුලි උත්පාදනයක් ඇති වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් ඉරිදා දින සහ රජයේ නිවාඩු දිනවලදී මෙම තත්ත්වය ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.

විදුලි පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීම සඳහා එවැනි අවස්ථාවල සූර්ය බලයෙන් නිපදවන විදුලිය යම් ප්‍රමාණයකට සීමා කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, බැටරි බලශක්ති පද්ධති හඳුන්වාදීමත් සමග දිවා කාලයේ අතිරික්තව නිපදවන විදුලිය ගබඩා කර රාත්‍රී කාලයේදී එය පද්ධතියට ලබාදීමට ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button