ප්‍රධාන පුවත්

මහා භාණ්ඩාගාර e-mail පද්ධතිය 2019 සිට යල්පැනලා

මහා භාණ්ඩාගාර e-mail පද්ධතිය ගැන අනාවරණයක්

මහා භාණ්ඩාගාර e-mail පද්ධතිය 2019 වසරේ සිට යල්පැනගිය තත්ත්වයක පැවති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) අනාවරණය කර තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ කරුණු දක්වමින් SLCERT නිලධාරීන් සඳහන් කර ඇත්තේ, එම පද්ධතිය හරහා හුවමාරු වූ පණිවිඩ ප්‍රමාණවත් ආරක්ෂාවකින් තොරව පැවති බවයි.

මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් වෙත යොමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් CoPF සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීම්වලට පිළිතුරු දෙමින් මෙම කරුණු අනාවරණය වී ඇත.

SLCERT නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, මහා භාණ්ඩාගාරයේ භාවිත කළ E-mail Server එක 2016 වසරේදී ලබාගෙන ඇති බවයි.

එම Server එක 2019 වසර වන විට යල්පැනගිය තත්ත්වයට පත්ව තිබූ නමුත්, 2026 වසර දක්වා එය අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු නොකර භාවිත කර ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.

ඒ අනුව මහා භාණ්ඩාගාරයට අදාළ තොරතුරු පිටතට යාමේ අවදානමක් පැවතියේ යල්පැනගිය Server පද්ධතියක් හරහා බවද අනාවරණය වී ඇත.

රාජ්‍ය ආයතන සඳහා සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ ලබාදී ඇති බවත්, ආරක්ෂක තක්සේරු කිරීම් සිදුකරන බවත් SLCERT නිලධාරීන් CoPF කමිටුව හමුවේ වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය 2025 සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමෙන් පසු මහා භාණ්ඩාගාරයටද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button