
2025 සහ 2026 කාලයේ හම්බන්තොට වරායෙන් වාහන 167,569ක් බෙදාහැරලා
හම්බන්තොට වරායෙන් වාහන බෙදාහැරීම යටතේ 2025 මාර්තු මාසයේ සිට 2026 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ වාහන 167,569ක් බෙදාහැර ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කරයි.
එම සංඛ්‍යාලේඛන අනුව, 2025 මාර්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වාහන 86,389ක් බෙදාහැර තිබේ. ඒ අතර නව වාහන 30,809ක් සහ භාවිත කළ වාහන 55,580ක් ඇතුළත් වේ.
2026 වසරේ සැප්තැම්බර් මාසය දක්වා තවත් වාහන 81,180ක් බෙදාහැර ඇති අතර, එම සංඛ්‍යාවට නව වාහන 25,018ක් සහ භාවිත කළ වාහන 56,162ක් අයත් වේ.
වාහන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත්, ප්‍රවාහන කටයුතුවලට විවිධ බාධා එල්ල වීමත් හමුවේ ආනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට වරාය සමූහය පියවර ගෙන ඇති බව ද සඳහන් කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ද වරාය සමූහයේ කඩිනම් ප්‍රතිචාර, මෙහෙයුම් කටයුතුවල නම්‍යශීලීභාවය සහ ප්‍රායෝගික සහාය අගය කර ඇත.
සාමාජිකයන් 450කට වැඩි පිරිසකගෙන් සමන්විත එම සංගමය තුළ විශාල සමාගම්වල සිට ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ වාහන ආනයන ව්‍යාපාර දක්වා විවිධ පාර්ශ්ව නියෝජනය වේ.
වාහන ආනයනය සීමා කර තිබූ කාලසීමාවේදී වරාය තුළ දිගු කාලයක් රඳවා තිබූ වාහන සඳහා අය කළ ප්‍රමාද ගාස්තු ඉවත් කිරීම සහ වෙනත් සහන ලබාදීම ද සිදුකර තිබේ. එමඟින් වාහන නිදහස් කර ගැනීම පහසු කිරීමත්, ආනයනකරුවන්ට ඇති වන මූල්‍ය බර අවම කිරීමත් අරමුණු කරගෙන ඇත.
මීට අමතරව, ගල්ෆ් කලාපය හරහා සිදුකෙරෙන වාහන ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතුවලට මෑතකදී ඇති වූ බාධා හේතුවෙන් බලපෑමට ලක්වූ වාහන සඳහා ගබඩා ගාස්තු සීමා කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් පෙන්වා දෙන්නේ, වාහන සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමට හැසිරවීමේ ධාරිතාව පමණක් ප්‍රමාණවත් නොවන බවයි. පාරිභෝගිකයන්ගේ මෙහෙයුම් අවශ්‍යතා නිවැරදිව අවබෝධ කරගැනීම සහ වෙනස් වන තත්ත්වයන්ට ගැළපෙන ලෙස කටයුතු කිරීම ද ඒ සඳහා අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කරයි.



