
ශ්‍රී ලංකාවෙන් 1132ක භට පිරිසක් UN සාමසාධක මෙහෙයුමට – ඉතිහාසගත විශාලතම කණ්ඩායම
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් තවත් භටයින් 1132 දෙනෙකු විදේශ සේවයට යැවීමට නියමිත බව වාර්තා වේ.
මෙම කණ්ඩායමට යුද හමුදාවේ විවිධ රෙජිමේන්තු වලින් තෝරාගත් 900ක් පමණ භටයින්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 189 දෙනෙකු සහ මෙරට හමුදා ඉතිහාසයේ පළමු වරට බිම්බෝම්බ හා මර උගුල් නිෂ්ක්‍රීය කිරීම සඳහා පුහුණුව ලැබූ යුද හමුදා කාන්තා සාමාජිකාවන් 43 දෙනෙකු ඇතුළත් වේ.
එමෙන්ම, මෙහෙයුම සඳහා අවශ්‍ය සන්නද්ධ රථ සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “යුනි බෆල්” රථ කිහිපයක්ද, ජනාධිපති ආරක්ෂක අංශයෙන් ලබාදුන් වෙඩි නොවදින විශේෂ රථ 02ක්ද මෙම කණ්ඩායමට ලබාදී ඇති බව සඳහන් වේ.
හයිටි රාජ්‍යයේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම භට පිරිස ලබන අගෝස්තු මාසයේදී එරටට පිටත්ව යාමට නියමිතය.
මෙම අවස්ථාවට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට එක්ව සිටියේය.
ශ්‍රී ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා යවන ලද විශාලතම භට කණ්ඩායම මෙය වන අතර, ජනාධිපතිවරයෙකු විසින් මෙවැනි පිරිසකට සුබපැතුම් එක් කිරීමට පැමිණි පළමු අවස්ථාවද මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.




