
ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක් – එංගලන්තය සුපිරි 8 වටය ජයගනී
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (22) මුහුණදුන් පළමු තරගයෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 51ක පරාජයක් විඳීමට සිදුවිය.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී එංගලන්තය ලබාදුන් ලකුණු 147ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය අඛණ්ඩව ලබාගත් 12වැනි විස්සයි20 ජය ලෙස වාර්තා අතරට එක්විය. එසේම, ශ්‍රී ලංකාව ලකුණු 95කට දැවීයාම, සිය රටේදී විස්සයි20 තරගයක රැස්කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද සැලකේ.
තවද, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේදී එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට සිදු වූ 6වැනි පරාජය මෙයයි. දෙරට අතර මේ දක්වා පැවති ලෝක කුසලාන තරග 7කින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.
2012 ලෝක කුසලානයෙන් පසු එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිව තිබීමත්, වසර 14කින් බලාසිටි ජය මෙවරද හිමි නොවීමත් මෙම තරගයෙන් තවත් පැහැදිලි විය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙරද, එම ක්‍රීඩාංගණයේම පැවති තරග 3කින් යුත් විස්සයි20 තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට එංගලන්තය සමත්ව තිබුණි. එම තරගාවලියේ තෙවන තරගයේදී ලබාදුන් ලකුණු 129ක ඉලක්කය පවා සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම, වර්තමාන පරාජ මාලාවට සමාන රටාවක් පෙන්නුම් කළේය.



