විදෙස්

උතුරු කොරියාව කෲස් මිසයිල අත්හදාබැලීමක් සිදුකරයි – කිම් ජොන්ග් උන් ගේ දියණියත් නිරීක්ෂණය එක්වෙයි

අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව කෲස් මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මිසයිල අත්හදාබැලීම උතුරු කොරියානු නායක Kim Jong Un විසින් ඔහුගේ දියණිය සමඟ නිරීක්ෂණය කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.

මෙම මිසයිල දියත් කිරීම සිදුකර ඇත්තේ “Choe Hyon” නමින් හැඳින්වෙන නාවික විනාශක යුද නෞකාවක සිටය. උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) විසින් නිකුත් කළ ඡායාරූපවලින් දැක්වෙන්නේ Kim Jong Un සහ ඔහුගේ දියණිය පාලන මැදිරියක සිට තිරයක් හරහා එම අත්හදාබැලීම නිරීක්ෂණය කරන අයුරුයි.

මෙහි විශේෂ අවධානයට ලක්ව ඇත්තේ 13 හැවිරිදි Kim Ju Ae ද මෙම අවස්ථාවට සහභාගී වී තිබීමයි. 2022 වසරේ අවසානයේ සිට ඇය සිය පියා සමඟ ප්‍රමුඛ හමුදා පෙළපාලි සහ ආයුධ අත්හදා බැලීම්වලට නිතර සහභාගී වෙමින් සිටින බව ද සඳහන් වේ. දකුණු කොරියානු බුද්ධි අංශ අනුව, Kim Jong Un විසින් තම දියණිය අනාගත අනුප්‍රාප්තිකයා ලෙස සූදානම් කරමින් සිටිය හැකි බවට ද විශ්වාස කෙරේ.

අමෙරිකානු සහ දකුණු කොරියානු හමුදා විසින් “Freedom Shield” නමින් දින 11ක ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පසුගිය සඳුදා ආරම්භ කළේය. උතුරු කොරියාව එම අභ්‍යාසය තම රටට එරෙහි ආක්‍රමණයක් සඳහා කරන පෙර පුහුණුවක් ලෙස දකින බව වාර්තා වේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ Kim Yo Jong පවසා ඇත්තේ, මෙම යුද අභ්‍යාස මගින් අමෙරිකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාවට එරෙහිව පවත්වාගෙන යන වෛරී ප්‍රතිපත්තිය තවත් පැහැදිලිව පෙනී යන බවයි.

තවද, සතුරු බලවේග මර්දනය කිරීම සඳහා උතුරු කොරියාව සතුව ඇති න්‍යෂ්ටික බලය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද Kim Jong Un මෙහිදී අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button