ප්‍රධාන පුවත්

හැටන් ප්‍රදේශයට “අයිස්” මත්ද්‍රව්‍ය අලෙවි කළ සිව්දරු මවක් අත්අඩංගුවට

පුවත් වාර්තාව (සංස්කරණය කළ අනුවාදය):

හැටන් ප්‍රදේශයට වසර ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි කාන්තාවක් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය රඳවා ගැනීමේ නියෝග මත සිදුකළ විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු අද (09) දින යළිත් හැටන් දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. එහිදී ඇය මෙම මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකාරිය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි සිව්දරු මවක් බව පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස ප්‍රදේශයෙන් හැටන් වෙත පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව, ඉකුත් 03 වනදා කොළඹ සිට හැටන් බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි අවස්ථාවේදී, හැටන් මල්ලිඅප්පු මංසන්ධිය අසලදී ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,850ක්ද සොයාගෙන ඇත.

සැකකාරිය පසුගිය 04 වනදා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත පොලිස් භාරයේ තබාගෙන සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, ඇයගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් තරුණයින් 11 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් 11 දෙනාද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර කාන්තාව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ හැටන් ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙනවිත් එක් පැකට්ටුවක් රුපියල් 5,000 කට අලෙවි කර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button