
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනපති සහ නීතිඥ සංගමය අද සාකච්ඡාවක
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (12) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් එල්ල වූ විරෝධතා මධ්‍යයේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරනු ලැබීය.
ඒ අනුව අදාළ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කර තිබුණි.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ පැවති හමුවකදීද එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ජනාධිපතිවරයා විසින් අද දිනයේ සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදී ඇත.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික විධායක කමිටු රැස්වීම පෙරේදා (10) පස්වරුවේ පැවති අතර, එහිදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාව සඳහා එම සංගමයේ කළමනාකරණ කමිටුවේ නියෝජිතයන් සහභාගී වීමට යෝජනා වී තිබේ.



