
ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ සැලසුම් කරයි
ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් එළැඹෙන 27 වැනිදා වන විට දිවයින පුරා බෙදාහැරීමට ලිට්රෝ ගෑස් සමාගම සැලසුම් කර තිබේ. වෙළෙඳපොළේ ඉහළ ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා සැපයුම් කටයුතු වේගවත් කර ඇති බව සමාගම නිවේදනය කරයි.
ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් බෙදාහැරීමට අමතර සැපයුම්
පසුගිය 22 වැනිදා මෙරටට පැමිණි ගෑස් නෞකාවට අමතරව ඊයේ (24) දිනයේදී ද GOODWILL නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් මෙරටට රැගෙන විත් තිබේ. පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම අමතර සැපයුම් ලබාගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසයි.
එමෙන්ම හෙට (26) දිනයේදී තවත් ගෑස් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතය. ඒ අනුව ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් බෙදාහැරීමේ ඉලක්කය 27 වැනිදා වන විට සපුරා ගැනීමට සමාගම අපේක්ෂා කරයි.
පසුගිය 22 වැනිදා මෙරටට පැමිණි මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයෙන් සිලින්ඩර 350,000ක් පසුගිය 23 සහ 24 යන දිනවලදී බෙදාහැරීමට කටයුතු කර ඇති අතර අද (25) දිනයේදී ද එම බෙදාහැරීම් අඛණ්ඩව සිදුකෙරේ.
ඉදිරි දින කිහිපය තුළ ගෘහස්ථ ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම වැඩපිළිවෙළ උපකාරී වනු ඇති බවත්, පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ගෑස් ලබාගැනීමට හැකි වනු ඇති බවත් ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.



